flydubaiහි ඉන්දීය ගුවන් නියමුවාට ඊශ්‍රායලයෙන් ඉහළම ගෞරව සම්මානයක්
flydubai ගුවන් යානයක් තුළදී එහි සම-නියමුවා එල්ල කළ මාරාන්තික ප්‍රහාරය වළක්වා ගනිමින්, මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දීය ජාතික කැප්ටන් ස්මිත් මච්චර් වෙත ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීරත්ව සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.
ඕමාන් ජාතික සම-නියමුවා විසින් නියමු කුටිය තුළදී කැප්ටන් මච්චර් වෙත තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එහිදී දැඩි ලෙස තුවාල ලබා සිටියදීත් ඔහු සිය වගකීම නිසි ලෙස ඉටුකරමින් නියමු කුටියේ දොර විවෘත කර තිබුණි.
මෙම වීර ක්‍රියාව හේතුවෙන් යානයේ සිටි ඊශ්‍රායල ජාතික මගීන්ට වහාම නියමු කුටියට ඇතුළු වී ප්‍රහාරකයා මැඩපැවැත්වීමට අවස්ථාව හිමිවිය.
ඊශ්‍රායල බුද්ධි අංශ සඳහන් කරන්නේ අදාළ සම-නියමුවාගේ සැලසුම වී ඇත්තේ යානය ටෙල් අවීව් නුවර ගොඩනැගිල්ලකට කඩා වැටීමට සැලැස්වීම බවය.
කැප්ටන් මච්චර්ගේ වීරත්වයෙන් පසුව, යානයේ සිටි නිවාඩු ලත් නියමුවන් පිරිසක් විසින් යානය සෞදි අරාබියට ආරක්ෂිතව ගොඩබස්වන ලදී.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින කැප්ටන් ස්මිත් මච්චර්, සුවය ලැබූ වහාම ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් අතින් මෙම ‘ජනාධිපති සිවිල් වීරත්ව සම්මානය’ ලබා ගැනීමට නියමිතය.
